Gossips

හිටපු ඩී.අයි.ජී නාලක තවමත් සී.අයි.ඩී යේ

ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
පෙරවරු 9.30ට පමණ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර මේ වනතුරුත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.
පෙරේදා දිනයේ නාලක සිල්වාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැදවීමක් කර තිබූ අතර ඔහු එදින නොපැමිණියේ සිය දරුවා අසනීප වී ඇති බව පවසමින්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ හෙලිදරව්ව සහ පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදී තිබූ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි දෙක අතුරුදන්වීම සම්බන්ධයෙන් ද මොහුගෙන් ප්‍රශ්න කෙරෙනවා.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පළමු වරට මාධ්‍ය වෙත පසුගිය මස 12 වනදා කරුණු අනාවරණ කළේ ඔහු සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර ඇති වූ දුරකථන සංවාදයක් ද ප්‍රසිද්ධියට පත් කරමින්.
ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ අතර නාමල් කුමාර ඉදිරිපත් කළ හඩපටය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවා.
එම වාර්තාවද පසුගිය 9 වනදා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී හඩපටයේ අඩංගු හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ නාමල් කුමාරගේ කටහඩ සජීවි කටහඩ සමග ගැලපෙන බව සනාථ වුණා.
එමෙන්ම, මෙම සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිිවරයාට සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.
මේ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ගත් තීරණයට පොලිස් කොමිසමේද අනුමැතිය ඊයේ හිමිවුණා.
ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිලිබදව නීතිය හා සාමය පිළිබදව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ ඊට අදාළ උපදෙස් තමන් ලබාදී ඇති බවයි.