Gossips

හිටපු ඩී.අයි.ජී. නාලක අද රහස් පොලීසියට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට අද උදෑසන 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණවලට අදාළවයි.
පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ද හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ නමුත් තම දරුවා අසනීප තත්ත්වයේ පසුවන බැවින් පැමිණීමට නොහැකි බව ඔහු දන්වා තිබුණා.
පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදී තිබූ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි දෙක අතුරුදන්වීම සම්බන්ධයෙන් ද අද දිනයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි වාර්තාවන්නේ.
මේ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ගත් තීරණයට පොලිස් කොමිසමේද අනුමැතිය ඊයේ හිමිවුණා.
මෙම සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිිවරයාට සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.