Gossips

හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් මාධ්‍යයට තහංචි

මාධ්‍යවේදීන් ඉවත් කිරිමට උත්සාහ කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද පැවති අත්තනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා.
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම රැස්වීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ එහි සම සභාපතිවරුන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී චන්ද්‍රසෝම සරණලාල්ගේ ප්‍රධානත්වයෙන්.
මෙම රැස්වීම ආවරණය කිරීමට මාධ්‍යවේදීන් පැමිණ සිටියේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදුකළ ලිඛිත ආරාධනයකට අනුවයි.
රැස්වීම පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ප්‍රදේශයේ ක්‍රියාත්මක ගව සොරකම සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමුකර සිටියා.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඒ අතරතුර මාධ්‍යවේදීන් පැමිණ රැස්වීම ආවරණය කිරීම සම්බන්ධයෙන් දැක්වූයේ විරෝධයක්.
මෙම අවස්ථාවට එක්ව සිටි තම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ද ඉවත් වන ලෙසට හිටපු ජනාධිපතිනිය දැනුම් දුන්නා.
කෙසේ වෙතත්, එහිදී ඇය කළ දැනුම්දීම නොතකමින් මාධ්‍යවේදීන් වාර්තාකරණයේ නිරත වූ අතර, පැමිණ සිටි පිරිසට සංග්‍රහ කිරීම සඳහා දරුවෙකු යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අවදානය යොමු කළා.
කෙසේ වෙතත්, පැවති උණුසුම් තත්ත්වය හමුවේ අත්තනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ලබන සැප්තැම්බර් 14 වනදා දක්වා කල් තබන බවයි එහි සම සභාපති චන්ද්‍රසෝම සරණලාල් ප්‍රකාශ කළේ.