Gossips

හිටපු ජනපතිගේ ඉල්ලීම

ඒකාබද්ධ විපක්ෂය, විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අද පැවැති පාර්ලිමේන්තු සභා වාරය සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ප්‍රශ්නය – සර්, දැන් අලුත් අගමැති කෙනෙක් පත්වෙනවාද? ඔබතුමාට විපක්ෂනායකකම දෙයිද? කොහොමද?
– අපි විපක්ෂනායක කම ඉල්ලනවා. අගමැතිවරයා එම පුද්ගලයාම බවට පත්වෙයි මම හිතන්නේ. ඒක එක්සත් ජාතික පක්ෂයයි, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමායි අතර තියෙන ගනුදෙනුවක්නේ. අපි එයාලට කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් එනවා නම් අපි අපේ සහයෝගය එළියෙ ඉඳලා දෙනවා කියලා. ඉතින් අපි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුට ඒක දෙන්නෙ නැහැ. ඒ අනුව අපි විපක්ෂයේ ඉන්නවා. අපි විපක්ෂය වශයෙන් බලාපොරොත්තු වෙනවා අපිට සුදුසු ස්ථානය අපිට දෙයි කියලා.
ප්‍රශ්නය – එතකොට මේ අවුරුදු දෙකත් යහපාලන ආණ්ඩුව ඉදිරියට යයිද සර්.
– ඒවා ඉතින් කියන්න බැහැ. ආණ්ඩු තියෙනවා නැතිවෙනවා. තව වෙසක් පෝය දෙකයි.
ප්‍රශ්නය – සර් දැන් ජනාධිපතිතුමා කිව්වානේ සර්, නීතිපතිගේ උපදෙස් අරගෙන අගමැතිතුමා ඉවත්කරන්න හැකියාවක් තියෙනවා ද කියලා බලනවා කියලා.?
– නීතිපති උපදෙස් ඕනේද? ජනාධිපති විධායක විත්තිය අමතක කරන්න එපා.
ප්‍රශ්නය – ජනාධිපතිතුමා අගමැතිතුමාව රකිනවා කියලද ඔබතුමා චෝදනා කරන්නේ.
– අනිවාර්යයෙන් වෙන මොකක්ද?
ප්‍රශ්නය – ඔබතුමාලා දැන් ඉදිරියේදී මොනවගේ තීන්දුවක්ද ගන්න ඉන්නේ.?
– පෙනෙයි පෙනෙයි පොඩ්ඩක් ඔහොම ඉන්න.