Gossips

හිටපු ඇමති විජේදාස රාජපක්ෂ අද ජනපති කොමිසමට

2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද කැඳවා තිබෙනවා.
පෙරවරු 11 ට හිටපු අමාත්‍යවරයා මෙලෙස කැඳවා ඇත්තේ ඔහු විසින් එම කොමිසමට ඉදිරිපත් කරන ලද සුරක්ෂා රක්ෂණාවරණය සහ මහපොල භාරකාර අරමුදල සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායී.
මේ අතර, ඊයේ දිනයේදී මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ ගෙන්වීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාව සම්බන්ධයෙන් දෙවන දිනටත් කොමිසම ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වන රෝහණ ද සිල්වා එහිදී සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයෙකු වූ විශේෂඥ වෛද්‍ය පී.එම්. අබේසිංහ විසින් මෙරටට ගෙන්වීමට විරුද්ධ වූ ඖෂධ පසුව ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බවටයි.
පෞද්ගලික සමාගම් දෙකකින් පියයුරු පිළිකා සඳහා මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ ඖෂධ වර්ග එම රෝගීන්ට උචිත නොවන බවට අදාළ විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත්, පසුව ඔහු විදේශගතව ඇති අතර, ඉන් අනතුරුව ප්‍රසම්පාදන කමිටුවට වෙනත් සාමාජිකයන් දෙදෙනෙකු පත් කර මෙම ඖෂධ දිවයිනට ගෙන්වා ඇති බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම, 2017 වසරේ කැබිනට් අනුමැතියකට යටත්ව ඕස්ටේ්‍රලියාවෙන් කිරි ගවයින් ගෙන්වීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන්ද ඊයේ සාක්ෂි සටහන් කර ගත්තා.
පශු වෛද්‍යවරුන්ගේ අනුමැතියකින් තොරව මෙම කිරි ගවයින් ගෙන්වා ඇති අතර, රුපියල් ලක්ෂ 05 කට ආසන්න මුදලකට එක් සත්ත්වයෙකු අලෙවි කර ඇති බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, එම කිරි ගවයින් හදිසියේ රෝගාතුර වීම සහ මියයෑම හේතුවෙන් කිරි ගොවීන්ට අගතියක් සිදුවූ බව පවසමින් ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.