Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඝාතනයට තැත් කිරීමේ නඩුවේ විත්තිකරුවෙකු නිදහස් කෙරේ

කොළඹ – පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ස්කන්ධ රාජා ශර්මා නමැති පුද්ගලයා සියලූ අධි චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් හමුවේ ඊයේ සලකා බැලූණු අවස්ථාවේදීයි.
වසර 12 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොහුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ එකම සාක්ෂිය වන ඔහුගේ පාපොච්චාරණය, ස්වේච්ඡාවෙන් ලබානොදුන් බවට ඔප්පු වීම හේතුවෙන් මෙම නියෝගය ලබාදී ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.
සැකකරුට එරෙහිව වෙනත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරයා ස්කන්ධ රාජා ශර්මාට එල්ල වී ඇති අධි චෝදනා 13 න්ම ඔහු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළා.