Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහිව ඇමරිකානු අධිකරණයට තවත් නඩුවක් – කුමන්ත්‍රණයක් බව පොදුජන පෙරමුණ කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයක තවත් නඩුවක් පවරා ඇති බවට වාර්තා වනවා.
ඒ, දකුණු අප්‍රිකාව මූලස්ථානය කර ගත් අයි.ටී.ජේ.පී. ආයතනය විසින්.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ 2007 වසරේදී අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙකු වධ හිංසාවට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පවරා ඇති බවයි.
එම නඩුවට අදාළ සිතාසිය ඇමරිකාවේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත භාර දුන් බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ද හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක නඩුවක් ගොනු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ, තම පියාගේ ඝාතනය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම හා උපදෙස් මත සිදුව ඇති බවට පවසමින්.
කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සහෝදර ලාල් වික්‍රමතුංග සඳහන් කළේ තමන්ට මේ පිළිබදව කරුණු තහවුරු කළ නොහැකි බවයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරත වන අතර ඔහු ලබන සිකුරාදා යළි මෙරටට පැමිණීමට නියමිතයි.
එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා අදාළ ලිපි ලේඛන ද මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හොන් කියා සිටියේ සිවිල් නීති කටයුතු සම්බන්ධයෙන් තමන්ට ප්‍රතිචාර දැක්විය නොහැකි බවයි.

rn