Gossips

හිටපු ආරක්ෂක ලේකම්ගේ ඉල්ලීමට නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කෙරේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වමින් ලබාදුන් අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරියසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් හමුවේ ඊට අදාළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීයි.
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බව කියමින් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.
අද පැවති පෙත්සම් විභාගයේදී නීතිපතිවරයා සහ පෙත්සම්කාර පාර්ශවය කරුණු දෙකක් සම්බන්ධයෙන් එකගතාවකටද පැමිණියා.
ඒ අනුව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන 25 වනදා පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන අතර, නඩු විභාගය සිදුවන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසි ලද විගස එහි පෙනී සිටීමට ද එකග වී තිබෙනවා.
පෙත්සම ලබන 25 වනදා යළි කැදවීමට නියමිතයි.