Gossips

හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක යලි පත් කිරීමට විරෝධය දක්වමින් තමන් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස් වූ බව හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
අද උදෑසන 10යි 30ට එක්සත් ජාතික පක්ෂයේ මෙම විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වුණේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
දේශපාලන මණ්ඩලය මගින් ඊයේ නම් කළ පක්ෂයේ නව තනතුරු සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා පැවති මෙම රැස්වීම අතරතුර හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා ඉන් ඉවත්ව ගොස් තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින් නම් කිරීම ඊයේ සිදුකෙරුණා.
ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් නම් කෙරුණු අතර, මහ ලේකම් තනතුරට නම් කෙරුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්.
මීට අමතරව භාණ්ඩාගාරික තනතුර සඳහා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාද, නියෝජ්‍ය මහ ලේකම් ධුරය සඳහා රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනද දේශපාලන මණ්ඩලයේදී කෙරුණා.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය, නියෝජ්‍ය නායකත්වය සහ උප නායක ධුරය වෙනස් නොකිරීමටයි ඊයේ රැස්වූ පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළේ.
ඒ අනුව පක්ෂ නායකත්වයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කරන අතර නියෝජ්‍ය නායකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාසත්, උපනායක ධුරයේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකත් තවදුරටත් කටයුතු කරනු ඇති.
කෙසේ වෙතත් කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී සභාපති, මහ ලේකම්, ජාතික සංවිධායක, උප නායක, නියෝජ්‍ය නායක සහ භාණ්ඩාගාරික යන තනතුරු සඳහා අනුමැතිය හිමිවූ බවයි රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියා සිටියේ.