Gossips

හික්කඩුවේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ

හික්කඩුව – බද්දේගම පාර තැපැල් කාර්යාලය අසළ ඊයේ (23) සිදුවූ වෙඩි තැබීම පාතාල කණ්ඩායම් දෙකක් අතර කළක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් බවට සැක මතුව තිබෙනවා.
ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ඊයේ පස්වරු 2.50 ට පමණ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.
එහිදී මියගියේ හික්කඩුව – තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි ලලිත් ක්‍රිශාන්ත හෙවත් පොඩි කළු මහත්මයා නැමති 34 හැවිරිදි පුද්ගලයෙක්.
මියගිය පුද්ගලයා, ඝාතනයට ලක්වූ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ සොහොයුරෙකු බවට පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
මේ අතර තංගල්ල – නෙටොල්පිටිය – වාඩිගල ඇඟළුම් කර්මාන්තශාලාව ආසන්නයේදී ඊයේ (23) ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීම පිටුපස ඇත්තේ පෞද්ගලික ආරවුලක් බව හෙළිවී තිබෙනවා.
මුදල් ගනුදෙනුවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.
වෙඩි තැබීමෙන් මියගියේ වැලිආර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි රථවාහන සේවා සපයන මධ්‍යස්ථානයක හිමිකරුවෙක්.