Gossips

හැටන් – දික්ඔය – දරවල ප්‍රදේශයේ කම්පනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.
කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා.
මේ අතර මුලතිව් – මාන්කුලම් ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ තද සුළං සමඟ ඇතිවූ වර්ෂාවෙන් නිවාස 4 කට හානි සිදුව තිබෙනවා.
මෙම සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ගස් විශාල ප්‍රමාණයක් කඩා වැටී තිබූ අතර, ඉන් ප්‍රදේශයේ විදුලිබල සැපයුමටද බාධා එල්ලවුණා.
එමෙන්ම ඊයේ රාත්‍රියේ ඇද හැලුනු අධික වර්ෂාව සහ අකුණු හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබෑමට පැමිණි ඕමාන ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපල වෙත යොමුකර තිබෙනවා.
ඊයේ රාත්‍රි 7.55 ට පමණ මෙම යානය කටුනායකට ගොඩබැස්සවීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණය හේතුවෙන් රාත්‍රී 8.24 ට පමණ මත්තල ගුවන් තොටුපලට ගොඩබස්සවා ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර හැටන් – දික්ඔය – දරවල ඉහළ කොටසේ වතු නිවාස පෙළක සිදුවූ කම්පන තත්ත්වයක් හේතුවෙන් නිවාස 5 කට හානි සිදුව තිබෙනවා.
අද උදෑසන 5 ට පමණ මෙම කම්පන තත්ත්වය හටගත් බවයි නිවාස හිමියන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මුලතිව් – මාන්කුලම් ප්‍රදේශයේ නිවාස වලට හානි සිදුව තිබූ අයුරු

(ඡායාරූප – දිනසේන රතුගමගේ / රොමේෂ් මදුශංක)