Gossips

හලාවත එළිවිටියේ අනතුරකින් 12 කට තුවාල (ඡායාරූප)

හලාවත ආණමඩුව මාර්ගයේ එළිවිටිය මංසන්ධියේ සිදුවූ රිය අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද අලුයම 2 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මෙහිදී යතුරුපැදි 3 ක්, ත්‍රී රෝද රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
තුවාලකරුවන් හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තත්වයේ පසුවූ එක් අයෙක් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇතැයි සඳහන්.
එළිවිටිය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශණයක් අවසන් වී ආපසු යමින් සිටි අයෙක් ගමන් කළ යතුරුපැදියක් එළිවිටිය මංසන්ධියේදී පෙරලීගොස් තිබෙනවා.
ඒ සමගම සංගීත ප්‍රසංගය නරඹා යමින් සිටි පිරිසක් එම ස්ථානයට එක් වී ඇති අතර ආනමඩුව දෙසට අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථයක් යතුරුපැදිය අනතුරට ලක්වූ ස්ථානයේ තිබු ත්‍රී රෝද රථයක් සහ යතුරුපැදි 3 ක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
යතුරුපැදි සහ ත්‍රී රෝද රථයේ සිටි පුද්ගලයන් සහ මෝටර් රථයේ රියදුරා ද අනතුරින් තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවයි හෙළිවී ඇත්තේ.
තුවාලකරුවන් හලාවත කුමාරකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
මෙම අනතුර පිළිබඳ හලාවත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඡායාරූප – පුත්තලම ජූඩ් සමන්ත / හලාවත ප්‍රසාද් පූර්ණිමාල්