Gossips

හමුදා නිලධාරීන් රැකගන්න රජය මැදිහත්විය යුතුයි – කමල් ගුණරත්න

රට වෙනුවෙන් ක්‍රියාකරන හමුදා නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය මැදිහත් විය යුතු බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ. විරෝධතාවක් පැවැත්වෙන අවස්ථාවේ සිදුකළ අභිනයක් සම්බන්ධයෙන් එවකට එහි ආරක්ෂක උපදේශකවරයා වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.
පසුගිය වසරේ නිදහස් දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට තර්ජනාත්මක සංඥාවක් කළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරදකරු කර ඇති බව ටැමිල් ගාඩියන් ඇතුළු දෙමළ වෙබ් අඩවි වාර්තා කළා.
දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් නඩුව ඉදිරිපත් කළ පබ්ලික් ඉන්ට්‍රස්ට් ලෝ සෙන්ටර් නැමැති රාජ්‍ය නොවන සංවිධානය ද ඒ බව සදහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව විනිශ්චයක් ලබාදීමට එරට අධිකරණයට හැකියාවක් නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
ඒ බව එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
එසේම රාජකාරී කටයුත්තක නිරත වූ ඔහු කිසිසේත්ම බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා නොකරන බව හමුදා ප්‍රකාශකවරයා කියා සිටියා.
මේ අතර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගත්තා.
අනතුරුව අස්ගිරි විහාරයට පැමිණි ඔහු අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැ දුටුවා.
එහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියාට අනුශාසනාවක්ද සිදුකළා.
අනතුරුව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල නාහිමියන් බැහැදුටු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අස්ගිරි පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ යුද හමුදාවේ පිරිස් බලය හෝ පුහුණුවීම්වල අඩුකිරීමක් සිදු නොකරන බවයි.