Gossips

හමුදාපති යාපනයට – ‘‘ආවා’’ නිසා කෝපායි ග්‍රාම නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද යාපනයේ සංචාරයක නිරත වුණා.
එම සංචාරය අතරතුර යුද හමුදාපතිවරයා කීරමලේ පිහිටි ඵෙතිහාසික ශ්‍රී නගුලේෂ්වරන් කෝවිලේ පැවති විශේෂ දේව පූජාවකටද එක්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, යාපනය – කෝපායි හි සියලූම ග්‍රාම නිලධාරීවරුන් අද උදෑසන සිට ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.
ඒ, ආවා කල්ලියේ ක්‍රියාකාරකම්වලට විරෝධය දක්වමින්. පසුගිය 29 වනදා යාපනයේ නිවසක පිහිටි ග්‍රාම නිලධාරි කාර්යාලයකට පහරදී තිබූ අතර, පසුව අනාවරණ වූයේ ආවා කල්ලිය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි.
එමෙන්ම යාපනය – චාවකච්චේරි – සරසාලේ ප්‍රදේශයේ පිහිටි ධනුරොක් කල්ලියේ සාමාජිකයෙකුගේ නිවසකටද ඊයේ රාත්‍රියේ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් පහර දී තිබෙනවා.
මෙම සිද්ධියෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු ඇතුළත් කෙරුණේ යාපනය රෝහලටයි.
මෙම ප්‍රහාරය ආවා කල්ලියේ සාමාජිකයින් පිරිසක් විසින් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කළා.
මේ අතර, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් කියා සිටියේ සති දෙකක කාලසීමාවක් සඳහා මෙවැනි ක්‍රියාකාරකම් පාලනය කිරීමට බලය ලබාදෙන්නේ නම් එය ඉටු කිරීමට තමන් සූදානම් බවයි.