Gossips

හම්බන්තොට ම කළඹමින් මහදවල් තැබූ වෙඩිල්ලේ අලුත් ම කතාව

හම්බන්තොට, මිරිජ්ජවෙල මංසන්ධියේදී පසුගිය 26 වනදා බස්රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට හිසට වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පලාගිය මෝටර් රථයයේ රියදුරු පොලිසිය විසින් ඊයේ (28) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරලකන්ද දෙහිඕවිට පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් පළාගිය බවට සැකකෙරෙන මෝටර් රථය ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පසුගිය 26 වනදා ඝාතනයට ලක් වූ පුද්ගලයා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් තංගල්ල මහාධිකරණයේ විභාගවන නඩුවකට එදින පෙරවරුවේ පෙනී සිට තිබෙනවා.
අනතුරුව සිය බිරිඳ සමඟින් ඔහු පදිංචි සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයට යාම සඳහා අදාළ බස් රථයට ගොඩ වී ඇත්තේ අම්බලන්තොටින්.
මාතර සිට අම්පාර බලා ධාවනය වූ එම පෞද්ගලික බස් රථය හම්බන්තොට, මිරිජ්ජවෙල මංසන්ධිය පසුකර ඉදිරියට ධාවනය වෙමින් තිබියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ එම බස් රථයේම පැමිණි පුද්ගලයෙකු අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩික්කරු බස් රථයෙන් බැස එම ස්ථානයට ළඟා වූ මෝටර් රථයක නැඟ පලා ගොස් තිබෙනවා.
වෙඩි තැබීම සිදුවීමට ප්‍රථම අදාළ බස් රථය පසුපසින් මෝටර් රථයක් ධාවනය වන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන් වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන බව හම්බන්තොට පොලිසිය සඳහන් කළා.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය සඳහන් කළා.
ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වසර කිහිපයකට පෙර තංගල්ල – රන්න ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔහු 2011 වසරේ අප්‍රේල් මස 30 වැනි දින රන්න – කදිරගොඩ ප්‍රදේශයේදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක තෙවැනි විත්තිකරුවනවා.
අදාළ ඝාතන සිද්ධියේ දෙවැනි විත්තිකරු 2012 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා හම්බන්තොට – අඟුණකොළපැලැස්සේදී ඝාතනය වී ඇත්තේ තියුණු ආයුධවලින් පහරදීමෙන්.
පසුගිය 26 වනදා මෙලෙස ඝාතනයට ලක් වූ 33 හැවිරිදි චන්දන ප්‍රසන්න සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟින් පදිංචිව සිටියේ ඇතිමලේ, ගලේයාය ප්‍රදේශයේයි.