Gossips

හම්බන්තොට තෙල් පිරිපහදුවට තවමත් අවසන් ගිවිසුමක් නැහැ – ප්‍රධාන ආයෝජකයා

හම්බන්තොට යෝජිත නව තෙල් පිරිපහදුව ඉදිකිරීමේ අවසන් ගිවිසුම සකස් කිරීමට තවත් වසරක් පමණ ගත වනු ඇතැයි එහි ප්‍රධාන අයෝජකයා පවසනවා.
ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක තෙල් පිරිපහදුවේ ප්‍රධාන අයෝජකයා වන සිංගප්පූරුව කේන්ද්‍ර කොට ගත් ඉන්දියානු එකෝඩ් සමූහයේ සභාපති එස්. ජගත්‍රාක්ෂකන් රොයිටර් පුවත් සේවය සමඟ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ පිරිපහදුව ඉදිකිරීම සඳහා ආයෝජනය කිරීම සම්බන්ධයෙන් මූලික යෝජනාව ලක් රජය වෙත ඉදිරිපත් කළ ද ඒ සඳහා අවසන් ගිවිසුමක් මෙතෙක් සකස් කර නොමැති බවයි.
ව්‍යාපෘතිය පිළිබඳ ඇගයීමට සහ එහි මූල්‍ය ශක්‍යතාව ඇගයීමට තවත් වසරක කාලයක් ගත වනු ඇති බවයි ජගත්‍රාක්ෂකන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට රොයිටර් පුවත් සේවයට දුරකථනයෙන් ප්‍රකාශ කර ඇත්තේ.
ඒ සඳහා පාර්ශවකරුවන් මෙතෙක් තෝරාගෙන නොමැති බවත්, ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
පිරිපහදුවේ ආයෝජන සඳහා ඉදිරිපත් වී ඇති එස්. ජගත්‍රාක්ෂකන් තමිල්නාඩුව නියෝජනය කරන දේශපාලනඥයෙකු වන අතර, 2009 – 2014 ඉන්දීය කොංග්‍රස් රජයේ අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළ අයෙක්.
68 හැවිරිදි ඔහු මේ වන විට ඉදිරි මහමැතිවරණය සඳහා සිය අසුන රැක ගැනීමේ ඡුන්ද ව්‍යාපාරයේ නිරතව සිටිනවා.
රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේ හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදුවේ ප්‍රධාන ආයෝජකයා වන එස්. ජගත්‍රාක්ෂකන්ගේ ප්‍රකාශයෙන් ව්‍යාපෘතිය පිළිබදව තවත් අවිනිශ්චිතභාවයක් මතු වන බවයි.
ඔහු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇති පරිදි එකෝ සමූහය හම්බන්තොට පිරිපහදුව සඳහා සියයට 70ක හිමිකාරත්වයක් දැරුව ද ඒ සඳහා අරමුදල් මූල්‍ය ආයතනවලින් ණය ආකාරයෙන් ලබා ගැනීමට කටයුතු කරනු ඇති බවයි.
ඉතිරි සියයට 30 සඳහා ආයෝජකයන් 20ත්, 30ත් අතර සංඛ්‍යාවක් එක් කර ගැනීමට බලාපොරොත්තු වන බව එස්. ජගත්‍රාක්ෂකන් සඳහන් කර තිබෙනවා.
කෙසේ නමුත්, මෙරට ක්‍රමෝපාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ රජය විසින් ප්‍රකාශයට පත් කළ පරිදි පිරිපහදු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ඒ සඳහා මූලික ගිවිසුමට අත්සන් තැබීමට එකෝඩ් සමූහයේ අධ්‍යක්ෂවරයෙකු වූ ඔහුගේ පුත් සන්දීප් ජගත්‍රාක්ෂකන් ද එක්වූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.