Gossips

හම්බන්තොට තෙල් පිරිපහදු ආයෝජනය, තමිල්නාඩු දේශපාලනඥයෙකුගේ බවට හෙළිදරව්වක්

මතභේදයට ලක්වී ඇති හම්බන්තොට නව තෙල් පිරිපහදු ආයෝජනය සැබවින්ම දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඩී .එම්.කේ. පක්ෂ දේශපාලනඥයෙකුගේ පවුලේ ව්‍යාපාරයක් විසින් සිදුකරනු ලබන්නක් බව හින්දු පුවත්පත හෙළිදරව් කළා.
මෙරට හින්දු වාර්තාකාරිනිය ඉදිරිපත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ ඩොලර් බිලියන 3.85ක තෙල් පිරිපහදු ආයෝජනයෙන් ඩොලර් මිලියන 1887ක් සිංගප්පුරුව කේන්ද්‍ර කොටගත් සිල්වර් පාක් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගම විසින් සිදුකරන බවයි.
එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 4 දෙනෙකුගෙන් තුන් දෙනෙකුම තමිල්නාඩුවේ ඩී.එම්.කේ. පක්ෂ හිටපු ඇමතිවරයෙකු වන ජගත්‍රාක්ෂකන් ගේ පවුලේ සාමාජිකයන් බව හින්දු වාර්තාකාරිනිය හෙළිදරව් කරනවා.
ඒ අනුව යෝජිත තෙල් පිරිපහදුවේ ආයෝජනයෙන් සියයට 70ක්ම ඉන්දීය හිමිකාරීත්වය සහිත සිංගප්පූරු සමාගම විසින් සිදුකරන බවයි ඇය පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත්, මෙම පිරිපහදුව ඉදිකිරීම සඳහා අවශ්‍ය තවත් ඇමරිකානු ඩොලර් මිලියන 2000ක් ප්‍රාග්ධන ණය ලෙස උපයා ගැනීමට නියමිත බව සඳහන්.
පිරිපහදුවේ ඉදිකිරීම් ඕමානයේ තෙල් සහ ගෑස් සමාගම ප්‍රධාන ආයෝජකයන් සමඟ නුදුරේදීම ආරම්භ කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පසුගිය දා ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, ඕමාන රජය කියා සිටියේ අදාළ ආයෝජනයට තම රජයේ ඍජු සම්බන්ධයක් නොමැති බවයි. ඉන්දීය හිමිකාරත්වය සහිත සිල්වර් පාක් සමාගම ඕමාන ආයෝජකයන් සමඟ එක්වන්නේ ද යන්න මෙතෙක් නිළ වශයෙන් ප්‍රකාශ වී නැහැ.