Gossips

හම්බන්තොටට සහ පූජාපිටියට විශේෂ වරයක්

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ කටයුතු අදින් අවසන් වීමට නියමිතයි.
පසුගිය මාර්තු 20 වනදා එම සංස්ථාපන කටයුතු ආරම්භ වූ අතර, අද (20) දිනට එම කටයුතු ආරම්භ කර මාසයක කාලයක් සම්පූර්ණ වනවා.
පළාත් පාලන ආයතන 340 ක මැතිවරණය පැවැත්වුණේ පෙබරවාරි 10 වනදායි.
සභිකයින් ගැසට් කිරීම, කාන්තා නියෝජනය තීරණය කිරීම හා තවත් ගැටලූ කිහිපයක් හේතුවෙන් මැතිවරණය පවත්වා මාසයක ඉක්ම යනතුරුත් පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ වූයේ නැහැ.
කෙසේ වෙතත්, පසුගිය මාර්තු මස 20 වනදා එම කටයුතු ආරම්භ කිරීමටයි පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරනු ලැබුවේ.
එහිදී පළාත් පාලන ආයතනවල සියයට 50ට වැඩි බලයක් හිමිකර ගෙන ඇති දේශපාලන පක්ෂ සදහා කිසිදු ගැටලූවකින් තොරව ප්‍රධානියා නම් කිරීමෙන් පසු පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ අවස්ථාව හිමිවුණා.
කෙසේ වෙතත්, දේශපාලන පක්ෂ සන්ධාන ගතවීම් අනුව, ඇතැම් පළාත් පාලන ආයතනවල ජයග්‍රහණය කළ පක්ෂය හැර වෙනත් පක්ෂයක් බලය පිහිටුවූ අවස්ථා ගණනාවක් ද දක්නට ලැබුණා.
එම අවස්ථාවන්හිදී අදාළ පළාත් පාලන ආයතනවල උණුසුම්කාරි මෙන්ම ගැටුම්කාරි තත්ත්වයන් ද හට ගත්තා.
අද දිනය වනවිට හම්බන්තොට මහනගර සභාව සහ පූජාපිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු සියලූ පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ කටයුතු අවසන් කර තිබෙනවා.
ඝණ පූර්ණය පිිළිබද මතු වූ ගැටලූකාරි තත්ත්වය හේතුවෙන් හම්බන්තොට මහ නගර සභාව සංස්ථාපනය කිරීම සදහා තවත් මාසයක කාලයක් ලබාදී ඇති අතර, සභිකයින් ගැසට් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් පූජාපිටිය ප්‍රාදේශීය සභාවට ද සංස්ථාපනය කිරීම සදහා මාසයක කාලයක් ලබාදී තිබෙනවා.