Gossips

හබරාදූව සහ ඇඹිලිපිටිය උණුසුම් වෙයි

ගාල්ල – හබරාදුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුව අද රැස්වු අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ, පොදුජන පෙරමුණට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එම ස්ථානයට බලහත්කාරයෙන් කඩා වැදීමත් සමගයි.
තත්ත්වය පාලනය කිරීම සදහා පොලීසිය ද කැදවීමටයි හබරාදුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති හබරාදුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ තාරක නානායක්කාර පියවර ගත්තේ.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව එක් පක්ෂයකින් එක් මන්ත්‍රීවරයෙකුට පමණක් ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි විය හැකි අතර, කඩා වැදුණු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ ප්‍රාදේශීය සභාවේ සියලූම මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වීමට අවසර ලබාදිය යුතු බවයි.
මෙහිදී ඒකාබද්ධ විපක්ෂයට සහය ලබාදෙන දකුණු පළාත් සභා මන්ත්‍රී ඒ.ජී.සී පියසිරි සහ එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක නීතිඥ තාරක නානායක්කාර අතර සංවාදයක් ඇතිවුණා.
මේ අතර, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ද ඇඹිලිපිටිය ග්‍රාමීය නායකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදී අද උදෑසන පැවැත්වුණා.
එහිදී උණුසුම් තත්ත්වයක් හට ගත්තේ කමිටුවට ආරාධනා නොකළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එම ස්ථානයට පැමිණීම හේතුවෙන්.
මෙහිදී නම් කරන ලද මන්ත්‍රීවරුන්ට පමණක් රැස්වීමට සහභාගි විය හැකි බවට චක්‍රලේඛයක් මගින් දැනුම්දී තිබීම නිසා අනෙක් මන්ත්‍රීවරුන්ට ආරාධනා නොකළ බවයි ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම්දී ඇත්තේ.
එහිදී මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සෑම මන්ත්‍රීවරයෙකුටම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වීමට අවස්ථාව ලබාදිය යුතු බව සදහන් කළා.