Gossips

හබරාදූවේදී තරුණයෙකුට වෙඩි

හබරාදූව – පිලාන ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ වැටී සිටියදී වෙඩි වැදීමකින් තුවාල ලැබූ තරුණයෙකු ඊයේ (09) රාත්‍රියේ හමුවී තිබෙනවා.
ඒ 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදීයි.
පසුව ඔහු ප්‍රතිකාර සදහා ගාල්ල – කරාපිටිය රෝහලට ඇතුලත් කළ අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.
මෙලෙස වෙඩි වැදී සිටියදී හමුවූ තරුණයා ගාල්ල – තෙන්කල්ලගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ මේ වනවිට තරුණයා වැටී සිටි ස්ථානයේ ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බවයි.
රෝහල් ගත කර සිටින තරුණයාගෙන් අද (10) පස්වරුවේ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි හබරාදුව පොලිසියේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සදහන් කළේ.
මේ අතර, දැදිගම පොලීසියේ සේවය කරමින් සිටි සැරයන්වරයෙකු ගිනි අවියක් පරීක්ෂා කිරීමට යාමේදී එය ක්‍රියාත්මක වී තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ (09) රාත්‍රී මුර සංචාරයේ නිරත වීමට පෙර අදාළ සැරයන්වරයා අවි ගබඩාවෙන් ලබා ගත් ගිනි අවියක් පරීක්ෂා කිරීමේදී මෙලෙස ක්‍රියාත්මක වී ඇති අතර ඉන් ඔහුගේ පාදයකට තුවාල සිදුව තිබෙනවා.
ඔහු දැනට කෑගල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ.