Gossips

හබරණදී දුම්රියේ ගැටී මියගිය වන අලි ගණන ඉහළට – අලිමංකඩ නොසලකා දුම්රිය ධාවනය වී ඇති බවටත් චෝදනා

හබරණ සහ පළුගස්වැව අතර මාර්ගයේදී දුම්රියේ ගැටී මියගිය වන අලි සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද (18) අළුයම සිදු වූ මෙම අනතුරෙන් වන අලි දෙදෙනෙකු සහ තවත් කුඩා පැටවෙකු ජීවිතක්ෂයට පත් වුණා.
පසුව හෙළි වූයේ මියගිය වන අලි අතරින් දෙදෙනෙකු ගැබ්බරව සිට ඇති බවයි.
එක් අලියෙකුගේ පැටවෙකු එම ස්ථානයේදී බිහි වී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් අලියාගේ කුසෙහි සිටි මාස 18 පමණ වූ අලි පැටවාද අනතුරින් මියගොස් ඇති බවද වනජීවි නිලධාරීන් සඳහන් කළා.
මේ අතර, අනතුරෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය මහව දුම්රිය ස්ථානයට පමණක් සීමා කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනතුරෙන් මාර්ගයට සහ දුම්රියට හානි සිදුව ඇති බවයි.
අනතුරට ලක් වූ දුම්රිය කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට මඩකලපුව දක්වා තෙල් ප්‍රවාහනය කරන දුම්රියක් වන අතර, එහි තෙල් ටැංකි දෙකකට හානි සිදුව තිබෙනවා.
කෙසේ වෙතත්, මිය ගිය වන අලි සිරුරු එම ස්ථානයේම තිබියදී ඉන්ධන රැගත් දුම්රියෙන්, පිටතට ගලා එන ඉන්ධන එක්රැස් කර ගැනීම සඳහා ප්‍රදේශවාසීන් යුහුසුළුව කටයුතු කරමින් සිටින බවට ද වාර්තා වනවා.
පසුව පොලීසිය සහ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් එක්ව එය නතර කළ බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර, වන අලි 5 දෙනා මිය ගිය ස්ථානය අලිමංකඩක් වන අතර, එය දැනුවත් කරමින් ප්‍රදේශයේ සංඥා පුවරු ද සවි කර තිබියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
මීට අමතරව එම ප්‍රදේශයේ දුම්රිය ධාවනය පැයට කිලෝමීටර් 40ක වේගයෙන් සිදුකළ යුතු වුවත්, අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ දුම්රිය එම වේග සීමාව ඉක්මවා ධාවනය කර ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ.