Gossips

හදිසි නීතිය ගැන අවසන් තීරණය ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් පසු

මහනුවර දිස්ත්‍රික්කය තුල ඇති වූ කලහකාරී සිද්ධියත් සමඟ පැනවූ හදිසි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලින් ද වාර්තා කැදවා ඇති බවයි.
මහජන ආරක්ෂක ආඥා පණතේ දෙවන කොටස බලාත්මක කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පසුගිය 06 වනදායි.
මහනුවර දිස්ත්‍රික්කයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවක් පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි දින 10ක් සඳහා හදිසි නීතිය පැනවීමේ හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් එය තවදුරටත් දීර්ඝ කරනු ලබන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි.
ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීම පිළිබඳව පසුගිය 09 වනදා කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දෙනු ලැබුවා.