Gossips

හදිසි නීතිය ඉවත් කිරීමේ තීන්දුව, ජනපති දිවයිනට පැමිණි පසු

රට තුළ පනවා ඇති හදිසි නීතිය ඉවත් කිරීම පිළිබදව ජනාධිපතිවරයා ජපාන සංචාරය නිම කළ දිවයිනට පැමිණීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ හදිසි නීතිය ඉවත් කිරීමේ බලතල ඇත්තේ ද ජනාධිපතිවරයාට පමණක් බවයි.
ජනාධිපතිවරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු අතර, බොහෝ දුරට හදිසි නීතිය ජනාධිපතිවරයා පැමිණි වහා ඉවත් කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, මහනුවර සිද්ධිය පදනම් කර ගනිමින් හදිසි නීතිය පැනවීම සඳහා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ අවසන් කෙරෙන දිනයක් සඳහන්ව නොමැති බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා ප්‍රකාශ කළා.
ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව හදිසි නීතිය මසක කාලයක් පවත්වා ගෙන යාමේ හැකියාවක් පවතින බවයි.
මහනුවර ඇති වූ කලහකාරී සිද්ධිය පදනම් කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය 6 වන දා නිවේදනය කළා.
එහි සදහන් වූයේ එය සතියක කාලයක් සඳහා බලපැවැත්වෙන බවයි.
කෙසේ වෙතත්, එදින හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් නිකුත් වූ අති විශේෂ ගැසට් නිවේදනයේ හදිසි නීතිය අවසන් වන දිනය සදහන් කර නැහැ.
මේ අතර, මහනුවර කලහකාරී සිද්ධියෙන් විනාශ වූ ආගමික ස්ථාන ඇතුළු දේපළ යුද හමුදාවේ මැදිහත්වීමෙන් පිළිසකර කිරීමේ කටයුතු ඊයේ ආරම්භ වුණා. දිගන – මස්ජිදුන් – නූර් ජුම්මා පල්ලියේ ආරම්භ වූ එම කටයුත්තට ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ ද සහාය හිමිවීම ද විශේෂත්වයක්.