Gossips

හදිසි අනතුරුවලින් 12 ක් මරුට

ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ හදිසි අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඉන් තුන්දෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ අනෙක් 6 දෙනා යතුරුපැදිවල ගමන්ගත් පුද්ගලයින් වීම විශේෂත්වයක්.
ඌරුබොක්ක – මැකිලියතැන්න – දිද්දෙණිය කන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 සහ 22 යන වයස්වල පසුවන සහෝදරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණේ කිරින්ද මුහුදු තීරයේ ඊයේ පස්වරුවේ දිය නාමින් සිටියදියි.
අම්බලන්තොට – මාමඩල – තුනේ කණුව ප්‍රදේශයේ නානතොටුපලක දිය නාමින් සිටි ළමයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ද දියේ ගිලීමෙන් මියගියා.
යතුරුපැදිවල ගමන් ගත් පුද්ගලයින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධීන් වාර්තාවී ඇත්තේ ඇඹිලිපිටිය – කුට්ටිගල, ගිරිඋල්ල, යටියන්තොට, මීගහතැන්න, තන්තිරිමලය, දික්වැල්ල යන ප්‍රදේශවලින්.
එසේම අද උදෑසන යාපනය – පලෙයි ප්‍රදේශයේදී නවතා තිබූ ලොරි රථයක වෑන් රථයක් ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එකම පවුලේ මව සහ දියණිය මෙම අනතුරින් මියගොස් ඇති අතර, ඊයේ දිවයිනට පැමිණි දියණිය රැගෙන අදාළ කාන්තාව යළි නිවස බලා පිටත්ව යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය කියා සිටියේ.
රියදුරුට නින්දයාම අනතුරට හේතුව බවට පොලීසිය සැක පළ කරනවා.
මේ අතර අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි 18 හැවිරිදි පාසල් දැරියක්ද දුම්රියේ ගැටීමෙන් ඊයේ පස්වරුවේ මියගොස් තිබෙනවා.