Gossips

හදිසියේ ඇරඹූ දුම්රිය වර්ජනය තවමත් – උසස් පෙළ සිසුන්ට හමුදාවෙන් බස්

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ පස්වරුවේ ආරම්භ කළ හදිසි වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
වර්ජනය හේතුවෙන් අද පෙරවරු කාලයේ දුම්රිය ධාවනයක් සිදු නොවූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත් රජය වර්ජිත දුම්රිය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ මගීන් අපහසුතාවට පත් නොකර ගැටළු සම්බන්ධයෙන් වහාම සාකච්ඡාවකට පැමිණෙන ලෙසටයි.
දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් හදිසි වර්ජනයක් ආරම්භ කළේ ඊයේ පස්වරු 3 ට පමණයි. මෙම වර්ජනයට දුම්රිය ස්ථානාධිපති, පාලක, රියදුරු සහ නියාමකවරුන් එක්ව සිටියා.
හදිසියේ ඇරඹි වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත් මගීන් කොටුව, මරදාන ඇතුලූ දුම්රිය ස්ථාන ගණනාවක කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් හටගත්තේ උණුසුම් තත්ත්වයක්.
පසුව කොටුව දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය යෙදවීමට පියවර ගත් අතර, මේ වනවිටත් එහි පොලිස් ආරක්ෂාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
දුම්රිය සේවකයන් ආරම්භ කළ හදිසි වර්ජනයත් සමඟ අපහසුතාවට පත් මගීන් කළහකාරී ලෙස හැසිරුණා.
පසුව කෝපයට පත් දුම්රිය මගීන් පස්වරු පහට පමණ කොටුව – දුම්රිය ස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය රථවාහනවලට ගමන් කළ නොහැකිවන ලෙස අවහිර කර තිබුණා.
මේ හේතුවෙන් පැය 5 කට ආසන්න කාලයක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් දිවෙන මාර්ගයේ රථවාහන ගමන් කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
එමෙන්ම මාතර සිට පැමිණි දුම්රියක රියදුරෙකු, මගීන් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ බලහත්කාරයෙන් රඳවා ගැනීමේ පුවතක්ද කොළඹ – කොටුව දුම්රිය ස්ථානයෙන් වාර්තාවුණා.
මේ අතර පවතින තත්ත්වය සළකා වහාම සේවයට වාර්තා කරන ලෙස විශ්‍රාමික දුම්රිය රියදුරන්ගෙන් ප්‍රවාහන අමාත්‍යාංශය ඉල්ලීමක් කළා. එසේම වර්ජනය අවසන් වනතුරු ශ්‍රී ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.
දුම්රිය මගීන්ට තම ප්‍රවේශපත්‍රය හෝ වාර ප්‍රවේශපත්‍ර භාවිත කර ශ්‍රී ලංගම බස්වල නොමිලේ ගමන් කිරීමටද රජය අවසර ලබාදී තිබෙනවා.
දුම්රිය වර්ජනය නිසා මාර්ග බලපත්‍ර නොමැතිව ඕනෑම මාර්ගයක ධාවනය කිරීම සඳහා පෞද්ගලික බස් රථවලට අවසර ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.
එමෙන්ම මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා විශේෂ බස් සේවා යොදවා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.
යුද හමුදාව ද උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
එමෙන්ම දුම්රිය වර්ජනය හේතුවෙන් උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසුන් හැකිතාක් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණීමට කටයුතු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.