Gossips

හතුරුසිංහ අරමුණක් හෙළි කරයි

විවිධ තත්වයන් යටතේ තරගකාරීව ක්‍රීඩා කළ හැකි ශක්තිමක් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම අරමුණ බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.
එම කණ්ඩායමට විවිධ රටවල් සමග මෙන්ම විවිධ තත්වයන් යටතේ ඔවුන්ගේ හැකියාවන් මත පදනම්ව දක්ෂතා දැක්විය හැකි කණ්ඩායමක් තම අරමුණ බවයි හතුරුසිංහ කියාසිටියේ.
සෑම ක්‍රීඩකයෙකුටම සමාන අවස්ථා ලැබෙන අතර එහිදී දක්ෂතා අනුව කණ්ඩායමේ ඉඩක් ලැබීම හෝ නොලැබීම පිළිබඳ ඔවුන්ට අවබෝධ වනු ඇතැයි ද ශ්‍රී ලංකා පුහුණුකරුවා කියාසිටියා.
ඉදිරියේදී එකම කණ්ඩායම සෑම තරගයකදීම දක්නට නොලැබෙනු ඇති බවයි චන්දික හතුරුසිංහ සඳහන් කර ඇත්තේ.
ක්‍රීඩකයන්ගේ දක්ෂතා කණ්ඩායමේ ඔවුන්ට හිමිවන තැන තීරණය කරනු ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.
කෙසේවෙතත් සෑම අවස්ථාවකදීම තමා උත්සාහ කරන්නේ හොඳ සංයෝගයකින් යුක්තව තරග ජයග්‍රහණය කිරිමට හැකි කණ්ඩායමක් නිර්මාණය කිරීම බව හතුරුසිංහ කියාසිටියා.
ජීවන් මෙන්ඩිස් පසුගියදා අවසන් වූ 20 යි 20 තරගාවලියට යොදා ගැනීම එක් උදාහරණයක් ලෙසට හතුරුසිංහ පෙන්වා දෙනවා.
වසර 3 ක් පමණ කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවු ජීවන් මෙන්ඩිස් පළමු පන්දු වාරයේදීම කඩුලු දෙකක් දවා ගැනීම හතුරුසිංහ සිහිපත් කරනවා.
තිසර පෙරේරාගේ දක්ෂතා පිළිබඳව ද ශ්‍රී ලංකා පුහුණුකරුවා අදහස් දක්වා තිබෙනවා.
යළිත් ජයග්‍රාහී කණ්ඩායමක් ලෙසට ඉදිරියට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව පවතින බවයි හතුරුසිංහ කියාසිටියේ.