Gossips

හතුරුසිංහගේ ඒකාධිකාරය බිඳ වැටෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සතුව මෙතෙක් කලක් පැවති ඒකාධිකාරය බිඳ වැටී තිබෙනවා.
ඒ සංචාරයක් අතරතුර කණ්ඩායම තීරණය කිරීමේ බලය ද තේරීම් කමිටුව වෙත පවරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරීවරයා පියවර ගැනීමත් සමගයි.
නම්කළ සංචිතයකින් ක්‍රිකට් තරඟ සංචාරයක් අතරතුරදී තරඟයක් සඳහා කණ්ඩායම නම් කිරීමේ බලය මෙතෙක් පැවතුනේ කණ්ඩායම් නායක, කළමනාකරු සහ ප්‍රධාන පුහුණුකරු සතුවයි.
කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ පුහුණුකරු ලෙස පත්වීමත් සමඟ ඔහු මෙම තේරීම් සම්පූර්ණයෙන්ම තම අභිමතය පරිදි සිදු කරන බව කලක පටන් කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වුණා.
අසන්ත ද මෙල් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසී තිබෙන්නේ මෙවන් පසුබිමකයි.
එහිදී අදාළ තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමෙන් අනතුරුව පුහුණුකරුට කණ්ඩායම තේරීමේ බලය අහෝසි කරමින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් සහ ක්‍රිකට් ආයතන නිසි බලධාරී චූලානන්ද පෙරේරාගේ අත්සනින් යුතු ලිපියක් ඊයේ (29) තේරීම් කමිටු සභාපතිවරයා වෙත නිකුත් කර තිබෙනවා.
මේ අනුව තරඟාවලියක් අතරතුර කණ්ඩායම තේරීමේ බලය හිමි වන්නේ කණ්ඩායමේ නායකයාට, කළමනාකරුට සහ තේරීම් කමිටුවටයි.
ක්‍රීඩා අමාත්‍යංශයේ නව නියෝගය අනුව පුහුණුකරුට තේරීම් සඳහා සිය මතය ඉදිරිපත් කිරීමේ අවස්ථාව පමණක් හිමිවන බව තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.