Gossips

හක්මන ලංගම සේවකයින් වැඩ වර්ජනයක

හක්මන ඩිපෝවේ රියදුරෙකු, කොන්දොස්තරවරයෙකු ඇතුලූ පුද්ගලයින් 5 දෙනෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද එම ඩිපෝවේ සියලූ සේවකයින් මේ වනවිට වැඩවර්ජනයක නිරත වනවා.
ඒ පෙරේදා රාත්‍රී 10 යි 30 ට පමණ හක්මන – මාවරල ප්‍රදේශයේදී බස් රථයක් නියමිත බස් නැවතුමේ නතර නොකළ බව පවසමින් එහි ගමන් ගත් පුද්ගලයෙකු ඇතුළු පිරිසක් සිදුකළ අදාළ පහරදීමට විරෝධය පළ කරමින්.
සිද්ධියෙන් තුවාල ලැබූ පස් දෙනා මාවරල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ පසුවූ කොන්දොස්තර ඇතුලූ බස් රථයේ ගමන් ගත් මගියෙකු මාතර – මහරෝහලට මාරු කර යවා තිබෙනවා.
අදාළ සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ට පොලීසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකළ බවටයි ඩිපෝ සේවකයන් චෝදනා කරන්නේ.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හක්මන පොලීසිය සදහන් කළේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ද සදහන්.
මේ අතර, වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බසයක කොන්දොස්තරවරයෙකුට හලාවත – පම්බල ප්‍රදේශයේදී අද දහවල් පහරදී තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.