Gossips

හංවැල්ලේ කප්පම් පිටුපස පාතාලය

හංවැල්ල සහ ජල්තර ප්‍රදේශවල ව්‍යාපාරිකයන් බිය ගන්වමින් සිදුවූ කප්පම් සිද්ධින් පිටුපස ප්‍රබල පාතාල කල්ලි නායකයන් දෙදෙනෙකු සිටින බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
මෙම සිද්ධීන්වලට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු ඊයේ දිනයේ ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
පසුගිය මාස කිහිපය තුළ හංවැල්ල සහ ජල්තර ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමේ සිද්ධීන් රැසක් වාර්තාවී තිබුණා.
හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාරික ස්ථාන වසා දැමීමටද කටයුතු කර තිබූ බවයි.
ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකු වන මෙලන් දිනෙත් හෙවත් ඌරුජුවා මෙම කප්පම් සිද්ධීන් මෙහෙයවන බව පොලීසිය විසින් අනාවරණ කරගත් අතර, ඔහු කළුතරදී බන්ධනාගාර බස් රථයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය පාතාල කල්ලි නායකයෙකු වන කඩුවෙල සමයංගේ ප්‍රධාන අනුගාමිකයා ලෙසයි සැළකෙන්නේ.
මීට අමතරව අංකුඹුරේ ඉඳුනිල් නැමති පාතාල නායකයාද කප්පම් සිද්ධීන්වලට සම්බන්ධ බව හෙළිවී තිබෙනවා.
පසුගිය දිනවල මොවුන් දෙදෙනාගේ කල්ලිවල සාමාජිකයන් ප්‍රදේශයේ නිවාස කිහිපයකටද හානිකර තිබූණා.
එහි ආසන්නතම සිදුවීම ඊයේ ජල්තර ප්‍රදේශයෙන් වාර්තාවුණා.
එම සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි හංවැල්ල පොලීසිය ප්‍රකාශ කළේ.
එමෙන්ම කප්පම් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා තිබෙනවා.