Gossips

සේනා හානිය අවම වෙලා. – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

සේනා දළඹුවාගෙන් සිදුවන හානිය මේ වනවිට අවම වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ දළඹු මර්දනයට ගනු ලැබූ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් සේනා දළඹුවාගෙන් සිදුවන හානි අවම වී ඇති බවයි.
කෙසේ වෙතත්, යළිත් මෙම උවදුර උත්සන්න වීමට ඉඩ ඇති බැවින් අදාළ පාර්ශවයන් එම උවදුර පාලනය කිරීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ වනවිට ගොවීන් මෙන්ම, කෘෂිකර්ම අංශයේ බලධාරින් විසින් අදාළ සේනා දළඹු උවදුර පාලනය කිරීම සඳහා නොයෙකුත් ස්වභාවික සහ කෘත්‍රිම පලිබෝධ නාශක භාවිත කරන අතර, සේනා දළඹු උවදුර ප්‍රධාන වශයෙන් පාලනය වී ඇත්තේ ඒ හේතුවෙන් බව සඳහන්.
බඩඉරිඟු වගාවට මූලික වශයෙන් හානි සිදුකරන මෙම දළඹු විශේෂය පසුව, කුරක්කන් වගාවට, වී වගාවට මෙන්ම, තවත් බොහෝ වගාවන්වලට හානි සිදුකර ඇති බවට ගොවීන් ප්‍රකාශ කර සිටියා.
මේ අතර, ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් කෙසෙල් වගාවට ද හානි සිදුකරන සේනා දළඹුවාට සමාන දළඹු විශේෂයක් පිළිබඳව වාර්තා වූ අතර, ඔවුන් කෙසෙල් වගාවේ පත්‍රවලට විශාල වශයෙන් හානි සිදුකර තිබුණා.