Gossips

සේනා මර්දන වෛරසය, යල කන්නයේදී

සමස්ත දිවයිනම ආක්‍රමණය කළ සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ඇමරිකාවෙන් ආනයනය කළ වෛරසය ලබන යළ කන්නයේදී බඩඉරිඟු වගාව සඳහා යොදා ගැනීමට හැකිවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් කියා සිටියේ තවමත් එම වෛරසයෙහි අත්හදා බැලීම් සිදුකරමින් තිබෙන බවයි.
එමෙන්ම, මෙරටින් සොයා ගත් බැසිලස් කුරෙන්ජයිටීස් නමැති බැක්ටීරියාව සහ කෘමි සතුන් සිව් දෙනෙකු සේනා දළඹුවා මර්දනය සඳහා යොදා ගත හැකි බව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසනවා.
මේ අතර, බඩඉරිඟු කිලෝග්‍රෑමයක් රුපියල් 45 කට වඩා අඩු මුදලකට තොග වෙළඳුන්ට කිසිසේත් ලබා නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් ගොවීන්ට දැනුම් දෙනවා.
ඔහු මේ බව කියා සිටියේ සේනා දළඹුවා මර්දනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී රැස්වූ අවස්ථාවේදීයි.
එහිදී අනාවරණ වුණේ ඇතැම් වෙළඳුන් සේනා දළඹු උවදුරට මුවා වී ගොවීන්ගේ අස්වැන්න අඩු මුදලකට ලබාගැනීමට උත්සාහ කරන බවයි.
ඊයේ පැවති මෙම රැස්වීමේදී පළාත් සහ දිස්ත්‍රික් කෘෂි නිලධාරීන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.
මේ අතර, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පොලොන්නරුව – අත්තනකඩවල ප්‍රදේශයට ගොස් සේනා දළඹු උවදුරට ලක්ව විනාශ කළ වගා බිම් ඊයේ නිරීක්ෂණය කළා.