සේනා දළඹුවන් මර්දනයට විධිමත් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් අනුරාධපුර – සිවලාකුලම ප්‍රදේශයේ ගොවීන් කෘෂිකර්ම උපදේශක කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණා.
එහිදී ඔවුන් කියා සිටියේ සේනා දළඹුවා – බඩඉරිගු සහ උක් වගාවට අමතරව, වී වගාවට ද බලපෑම් එල්ල කර ඇති බවයි.
ගොවීන් විරෝධතාවයේ නිරත වූ ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන ද පැමිණියා.
ඔහු කියා සිටියේ ගොවීන්ට සහන සැලසීම සඳහා රජය මැදිහත්විය යුතු බවයි.
මේ අතර, සේනා දළඹුවා නුවරඑළිය දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත වී ඇති බව වාර්තා වුණා.
හැටන් – රුවන්පුර ගම්මානයේ එළවළු වගා භූමියක අස්වද්දා තිබූ බඩ ඉරිඟු අතර සිට මෙලෙස සේනා දළඹුවා හමුවූ බවයි ගොවීන් පවසන්නේ.
එහෙත් යාපනය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට පමණක් මෙම දළඹුවා ව්‍යාප්ත වී නොමැති බවයි මීට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සේනා දළඹුවා හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.
එමෙන්ම, පොළොන්නරුව – ඇළහැර ප්‍රදේශයේ වී වගාවක ද සේනා දළඹුවන් ව්‍යාප්ත වී සිටි බව අද වාර්තා වුණා.
කෙසේ වෙතත්, මෙරට බඩ ඉරිඟු සහ උක් වගාවට හානි පමුණුවන සේනා දළඹු විශේෂයේ ප්‍රභේද දෙකක් හදුනාගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
එහි අධ්යක්ෂ ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් කියා සිටියේ සේනා දළඹුවාගේ සාම්පල කිහිපයක් පරීක්ෂණ සඳහා ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක් වෙත මීට සති තුනකට පෙර යොමු කළ බවයි.