Gossips

‘‘සේනා’’ මර්දනයට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩ අරඹයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක බෝගවලට හානි කරන ‘‘සේනා’’ නමැති ආක්‍රමණශීලි දළඹු විශේෂය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීම සදහා මේ වනවිට කණ්ඩායමක් යොදවා ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජේ.ආර්.සුබසිංහ පවසනවා.
එම දළඹු විශේෂ පාලනය කිරීම සදහා රජය විසින් මේ වනවිට ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
මෙම සේනා නමැති ආක්‍රමණශීලි දළඹු විශේෂය මුල් වරට සොයා ගනු ලැබුවේ අප්‍රිකානු නයිජීරියාවෙන්.
ඒ 2016 වසරේදීයි.
මේ වනවිට මෙම දළඹු විශේෂය රටවල් 44 ක ව්‍යාප්ත වී තිබෙනවා.
2017 වසරේ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් ද මෙම දළඹු විශේෂය වාර්තා වූ අතර මේ වනවිට එම උවදුර මර්දනය කිරීමට එරට බලධාරින් කටයුතු කර තිබෙනවා.
මෙම දළඹු විශේෂය ශ්‍රී ලංකාවේදී මුල්වරට වාර්තා වූයේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර මේ වනවිට අනුරාධපුර, මොනරාගල සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ද ව්‍යාප්ත වී ඇති බව සදහන්.
එම දළඹු විශේෂයෙන් මේ වනවිට බඩ ඉරිගු, උක්, වී, රටකජු සහ තවත් බොහෝ එළවළු සහ පළතුරු භෝගවලට ද හානි සිදුකරනු ලබනවා.
එක් දළඹුවෙකු වරකට බිත්තර 200 ක් පමණ පරිසරයට මුදා හරින අතර, ඉන් බිහිවන සළඹ විශේෂය දිනකට කිලෝමීටර් 100 ක් පමණ පියඹා යන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
මේ අතර, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසන්නේ පවතින මෙම උවදුර කඩිනමින් මැඩපැවැත්වීමට බලධාරින් කටයුතු කළ යුතු බවයි.