Gossips

සේනා මඩින්න රසායනික ද්‍රව්‍ය පහක්

සේනා දළඹුවා මර්දනය කිරිම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්දේශ කර ඇති රසායනික ද්‍රව්‍ය 05 දිවයින පුරා බෙදාහැරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජේ.ඒ. සුමිත් පවසනවා.
ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඒවා ගොවීන් වෙත ලබා දීමට කටයුතු කර ඇති අතර එම රසායනික ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අත්පත්‍රිකා මඟින් ගොවීන් දැනුවත් කර ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ අතර සේනා දළඹුවා මර්දනය කිරීමට තවමත් නිසි වැඩපිළිවෙලක් ආණ්ඩුවට නොමැති බවට බත්තරමුල්ල නෙළුම් මාවතේ අද (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන, පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක චෝදනා කළා.
මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියා සිටියේ සේනා දළඹුවා ව්‍යාප්ත වී ඇති වගාවන් ගිනි තබා විනාශ කළ යුතු බවයි.
කෙසේ වෙතත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සේනා දළඹුවා මර්දනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ බෝග වගාවන් ගිනි තැබුවහොත් ආහාර අර්බුදයක් මතුවීමේ අවදානමක් පවතින බවයි.