Gossips

සේනා නුවරඑළියටත් – දළඹු සාම්පල කොටස් ඇමරිකාවට

සේනා දළඹුවා නුවරඑළිය දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත වී තිබෙනවා.
හැටන් – රුවන්පුර ගම්මානයේ එළවළු වගා භූමියක අස්වද්දා තිබූ බඩ ඉරිඟු අතර සිට මෙලෙස සේනා දළඹුවා හමුවූ බවයි ගොවීන් පවසන්නේ.
දිවයිනේ දිස්ත්‍රික්ක රැසක බඩ ඉරිඟු සහ උක් වගාවන්ට සේනා දළඹුවා හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණා.
එහෙත් යාපනය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට පමණක් මෙම දළඹුවා ව්‍යාප්ත වී නොමැති බවයි මීට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සේනා දළඹුවා හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.
මේ අතර, මෙරට බඩ ඉරිඟු සහ උක් වගාවට හානි පමුණුවන සේනා දළඹු විශේෂයේ ප්‍රභේද දෙකක් හදුනාගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
එහි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් කියා සිටියේ සේනා දළඹුවාගේ සාම්පල කිහිපයක් පරීක්ෂණ සඳහා ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක් වෙත මීට සති තුනකට පෙර යොමු කළ බවයි.
එහි වාර්තා ලැබීමෙන් පසු සේනා දළඹුවා මර්දනය සඳහා නිවැරදි ක්‍රමවේදයක් හඳුන්වා දිය හැකි බවද ඔහු ප්‍රකාශ කළා.