Gossips

සේනා දිවයිනේම බඩඉරිඟු ආක්‍රමණය කරයි

සේනා දළඹුවා මෙරට සියලූම දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගා ආක්‍රමණය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට වගා කර ඇති බඩඉරිගු හෙක්ටයාර් 81,000 කින් 48,000 කම සේනා දළඹුවා පැතිර අවසන්.
මෙම සත්ත්වයාගෙන් වන වගා හානි අවම කිරීම සදහා ඊට අදාළ මර්දන කටයුතු ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදෙන ලෙසයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙරටින් මුල් වරට සේනා දළඹුවා අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුවූ අතර, ඉන්පසු, මෙම දළඹුවා මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුර, මොනරාගල, යන දිස්ත්‍රික්කවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා.
ඊයේ දිනයේදී නුවරඑළිය සහ යාපනය දිස්ත්‍රික්කවලින් ද සේනා දළඹුවා පිළිබඳන්‍ වාර්තාවී තිබෙනවා.
මෙලෙස සේනා දළඹුවා නිසා හානියට ලක් වූ පොළොන්නරුව – සිරිකදුයාය ප්‍රදේශයේ බඩඉරිඟු වගා බිම් නිරීක්ෂණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඊයේ ගොස් තිබෙනවා.
බඩ ඉරිගු වගාව පමණක් ආක්‍රමණය කළ සේනා දළඹුවා මේ වනවිට කුරක්කන්, එළවළු ඇතුලූ බෝග වර්ග 100 කට පැතිර යෑමේ අවදානමක් තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග කියා සිටියේ මේ වනවිට සේනා දළඹුවන් බඩ ඉරිඟු වගා කරන සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තාවී ඇති බවයි.
මේ අතර, සේනා දළඹු උවදුර සොයා බැලීම සදහා විශේෂ අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.
අනුරාධපුරයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.