Gossips

සේනාට එරෙහිව ගොවි සංගම්වලින්, වෙනස් විරෝධයක්

කෘෂිභෝග රැසකට හානි සිදුකරනු ලැබූ සේනා දළඹුවා මර්දනයට ප්‍රායෝගික නව වැඩපිළිවෙලක් රට පුරා ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
ඒ අනුව එළඹෙන 1 වනදා පොළොන්නරුව – බකමූණ ප්‍රදේශයේදී වගා ඉඩම් කිහිපයක් ගිනි තබා විනාශ කර රජයට විරෝධය පළ කරමින් එය ආරම්භ කරන බවයි එම සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න කියා සිටියේ.
සේනා දළඹු උවදුර හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ ගොවීන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.
බඩඉරිඟු වගාවට විශාල ලෙස හානි සිදුකරන සේනා දළඹුවා පසුගිය දින කිහිපය තුළ තවත් භෝග රැසකට ව්‍යාප්ත වී ඇති බවයි ගොවීන් සඳහන් කළේ.
ඒ අනුව කුරක්කන් වගාවටද සේනා දළඹුවා ව්‍යාප්ත වී තිබූ අතර, එම දළඹුවාට සමාන දළඹු විශේෂයක් නිවිති, ඉඟුරු, කෙසෙල්, වී සහ තවත් බොහෝ වගාවන් ආශ්‍රිතව දක්නට ලැබුණා.
කෙසේ වෙතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙම දළඹු විශේෂය සම්පූර්ණයෙන්ම තුරන් කිරිමට හැකියාවක් නොමැති අතර, පාලනය කිරීම හරහා එය යම්තාක් දුරකට මර්දනය කිරීමට හැකි බවයි.
ඒ අනුව එම දළඹුවන් විනාශ කිරීමට යොදාගනු ලබන කෘමිනාශක ඇතුලූ ඇතැම් මර්දනකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමෙන් මෙම දළඹුවන් පාලනය කිරීමට හැකිවනු ඇති.
ලෝකයේ රටවල් 44 ක පමණ ව්‍යාප්තවී ඇති මෙම දළඹු විශේෂය මුල්වරට සොයාගනු ලැබුවේ අප්‍රිකාවෙන් බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් මීට පෙර ඉන්දියාවෙන්ද මෙම දළඹු විශේෂය වාර්තාවූ අතර, කෘෂිකර්ම බලධාරීන් ප්‍රකාශ කර සිටියේ ලෝකයේ කිසිදු රටකට මෙම දළඹුවන් සම්පුර්ණයෙන්ම මර්දනය කිරීමට මෙතෙක් හැකිවී නොමැති බවයි.