Gossips

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයෙන් චෝදනාවක්

දුම්රිය මාර්ගයේ වන අලි ගැටීම් සිදුවන ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා පත් කළ කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ විද්‍යාත්මක නොවන ඊනියා විසඳුම් පමණක් බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසනවා.
එහි ලේකම් නයනක රංවැල්ල පෙන්වා දෙන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි කෙටිකාලින හා දිගුකාලීන විසඳුම් මේ සඳහා පවතින බවයි.
සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය සඳහන් කළේ දුම්රියේ ගැටී අලි මිය යාමේ ස්ථාන 30ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවයි.
වසරේ ගත වූ මාස 10 තුළ දුම්රියේ ගැටී, වන අලි 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර, ඊයේ රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටී පළුගස්වැවදී වන අලියෙකු මිය ගිය අතර, දුම්රිය පීලිපැනීමකට ලක්වුණා.
ඒ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය කැකිරාවට පමණක් සීමා වූ අතර, මේ වන වන එම ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බවයි පාලක මැදිරිය සඳහන් කළේ.
එමෙන්ම, ඊයේ රාත්‍රියේම වන අලි දෙදෙනෙකු අඹන්පොළදී කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් එක් අලියෙකු මිය ගොස් තිබුණා.
එමෙන්ම, අද උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී දුම්රිය පීලිපැනීමක් සිදුවුණා.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.