Gossips

සුබ මොහොතින් හිස තෙල් ගෑමේ නැකත සිදුවෙයි

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකැත් චාරිත්‍රය අද (16) උදෑසන 10යි 16ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා.
හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අත්තනගල්ල රජමහා විහාරයේදී පැවැත්වුනේ කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන්.
උතුරු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් හා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ද ගා එම චාරිත්‍රය ඉටු කරනු ලැබුවා.
ඒ, අත්තනගල්ල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පන්නිල ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන්.
මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හිස තෙල් ගෑමේ නැකැත් චාරිත්‍රය සඳහා එක්වීමට නියමිතව තිබෙනවා.
ඒ, ලන්ඩන් බෞද්ධ විහාරයේදියි. මීට අමතරව නුවරඑළියේ රැඳී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නුවරඑළිය – මහගස්තොට ශ්‍රී සේනනන්දාරාම විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක්වුණා.
හිරු ටී.වී, හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධාන කළ නව අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී අද උදෑසන සිදු කෙරුණා.
ඊට කළාකරුවන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර, එහිදී ප්‍රථමයෙන් කෝට්ටේ රජමහා විහාරයේ රාජා හස්තියාගේ හිස තෙල් ගෑම සිදු කිරීම විශේෂත්වයක්.
හිස තෙල් ගෑමේ චාරිත්‍රයට සමගාමීව හිරු ටී වී ඔස්සේ සංවාදාත්මක වැඩසටහනක්ද විකාශය කෙරුණා.