Gossips

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා කාන්තාවන් ගැන කියූ අමුතුම කතාව ගැන දැන් කියන කතාව

තරඟ තහනමට ලක්ව යළි ඉන්දියාවට කැඳවූ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනා තමන් අතින් සිදුවූ වරදට සියල්ලන්ගෙන් සමාව ඉල්ලමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
මෙලෙස විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සියල්ලන්ගෙන් සමාව ඉල්ලා ඇත්තේ ඉන්දීය සුපිරි පිතිකරු හර්දික් පණ්ඩ්‍යා විසින්.
ඔහු එහිදී පවසා ඇත්තේ තමන් කළ ප්‍රකාශය හේතුවෙන් යමෙකුගේ හිත රිදුණා නම් ඒ හැමෝගෙන් ම සමාව ඉල්ලා සිටින බවයි.
එම වැඩසටහනේ ස්වභාවය අනුව තමන්ට එය කියැවුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඔහු එහිදී මෙලෙසද සඳහන් කර තිබෙනවා.
"අවංකව ම, මම ඒ වැඩසටහනේ ස්වභාවය අනුව අදහස් දැක්වුවා පමණයි. කාටවත් අගෞරව කිරීමට හෝ කාටවත් රිදවීමට මම උත්සහ කළේ නැහැ."
Koffee with Karan නමැති බොලිවුඩ් සිනමා නිෂ්පාදකයෙකු විසින් මෙහෙයවනු ලබන රූපවාහිනී වැඩසටහනක් අතරතුරදීයි ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් වන හර්දික් පණ්ඩ්‍යා සහ කේ එල් රාහුල් විසින් පසුගියදා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර ඇත්තේ.
එහිදී ඔවුන් කාන්තාවන් සම්බන්ධයෙන් සිදුකළ එම ප්‍රකාශයත් සමඟ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් ඔවුන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි තරඟ සංචාරය අත්හිටුවා යළි මව් රටට කැඳවීමට පියවර ගත්තා.
එම රූපවාහිනී වැඩසටහනේ 6 වන අදියර මේ වන විට ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වූයේ පළමු වරටයි.
හර්දික් පණ්ඩ්‍යා එහිදී තමන් කාන්තාවන් සමග පැවැත් වූ සම්බන්ධතා කිහිපයක් පිළිබඳව පවසා ඇති අතර ඔහු පවසා තිබුණේ, කාන්තාවන් මත්පැන් හල්වල හෝ රාත්‍රී සමාජ ශාලාවල සිටිනු දැකීමට තමන් කැමැති බවයි.
ඔහු එම වැඩසටහනේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සිය සබඳතා ගැන දෙමාපියන් දැනුවත් කර තිබූ බවයි.
තරඟ තහනමක් පැනවූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඉන්දීය නායක විරාත් කෝලි ද සඳහන් කර තිබුණේ එය නුසුදුසු ප්‍රකාශයක් බවයි.

(උපුටා ගැනීම BBC පුවත්)