රේගු නිලධාරීන් 5 දෙනෙකුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුවේට් සිට මෙරටට පැමිණි විදේශික යුවල ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔවුන් මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් පී. කුමාරනායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හරිනු ලැබූ මහේස්ත්‍රාත්වරයා නඩුව අනිද්දා යළි කැදවීමට නියෝග කළා.
මෙම යුවළ රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන රෙගුලාසි යටතේ රදවා ගැනීම හේතුවෙන් ඊට උරණ වූ ඔවුන් බලහත්කාරයෙන් සුනඛයා ද සමඟ ගුවන් තොටුපළෙන් පිටව යාමට උත්සාහ කිරීම වැළැක්වීමට යාමේදීයි ඊයේ පස්වරුවේ රේගු නිලධාරීන්ට පහර දී තිබුණේ.
ඉන් තුවාල ලැබූ රේගු නිලධාරිනියක ද ඇතුළු 5 දෙනා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු අතර අද පස්වරුවේ ඔවුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගියා.
මේ අතර, මෙම සිද්ධියත් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මගී පිවිසුම් වල ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.