Gossips

සුජීව සේනසිංහ ඉවත් කරන්නැයි කඩුවෙලින් යෝජනාවක්

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් බවට පිළිගත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ රජයේ තනතුරුවලින් ඉවත් කර පක්ෂයෙන් ද නෙරපා හැරිය යුතු බව කඩුවෙල මැතිවරණ කොට්ඨාශයේ දූෂණ විරෝධී සංවිධානය පවසනවා.
එම සංවිධානය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කඩුවෙල නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මේ බව කියා සිටියා.
පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ලැබුණු රුපියල් මිලියන 3 ක් සිය මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගත් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ පිළිගත්තා.
පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ රුපියල් මිලියන 3 ක් අවස්ථා 3 කදී රාජ්‍ය අමාත්‍යවරයාට ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙරේදා වාර්තා කළා.
අද කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කඩුවෙල නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ සුජීව සේනසිංහ යනු කඩුවෙල ආසනයට පැමිණි මනුස්සකමක් නොමැති පුද්ගලයෙකු බවයි.
ඊට එක්වෙමින් අදහස් දැක්වූ කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අජිත් රොද්‍රිගු ප්‍රකාශ කළේ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාව කඩුවෙලින් පමණක් නොව දේශපාලනයෙන් ද ඉවත් කළ යුතු බවයි.
මේ අතර, එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න ද මීගමුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් මුදල් ලබා ගෙන ඇති බව අනාවරණ කළා.