Gossips

සුජාත දරුවෝ වැඩසටහන මාර්තු 15 වනදා සිට

දැයේ දරුවන් මත් උවදුරින් ගලවා ගන්නා "සුජාත දරුවෝ" වැඩසටහන මාර්තු 15 වනදා සිට දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බව ජනපති පවසයි
නව පරපුර හා පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනිම සඳහා ,සුජාත දරුවෝ, වැඩසටහන මාර්තු 15 වනදා ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක්වෙමින්.
මෙහි දී අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ විෂ මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල සහ පාසල් දරුවන් අතරට ඉතා සූක්ෂම ලෙස ගෙනයාමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක වන බවයි.
එය මැඩපැවැත්වීම වෙනුවෙන් සිසුන් දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් ,සුජාත දරුවෝ, වැඩසටහන මගින් ක්‍රියාත්මක වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ සහ ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුධ, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දායකත්වයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් ද සහභාගී කරවා ගනිමින් ඉතා මිත්‍රශීලි වැඩසටහනක් ලෙස සුජාත දරුවෝ දැයේ දරු පරපුර අතරට ගෙන යන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස ලක්ෂ 2කට ආසන්න බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී කියාසිටියා.
නීති විරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ නීති ශක්තිමත් කිරීමට මෙන්ම එය වැළැක්වීම සහ නිවාරණය වෙනුවෙන් රජය මේ වන දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය පිහිටුවීමේ කටයුතු ද මේ වන විට සිදුවෙමින් පවතින බව ජනාධිපතිවරයා කියාසිටියා.
ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ලෝකය හමුවට ගෙන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සහ තහනම් උත්තේජක භාවිතයෙන් වැළකුණු සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගිමත් යහපත් පුරවැසියෙකු වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබෙනවා.