Gossips

සී.වී. විග්නේෂ්වරන් ඇතුලූ උතුර පළාත් ඇමතිවරුන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් නොකර සිටීමට ලබන මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිට නිදහසට කරුණු දක්වන්නැයි උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ට සහ ආනන්දි ශෂිදරන්, කේ. ශිවනේෂන් යන පළාත් අමාත්‍යවරුන්ට අද නියෝග කෙරුණා.
ඒ උතුර පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් ගොනු කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.
උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පී. ඩෙනීෂ්වරන් මන්ත්‍රීවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එය අවලංගු කරන ලෙස ඉල්ලා මොහු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා.
ඒ අනුව අභියාචනාධිකරණය එම ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස දැනුම් දුන් අතර එම තීන්දුවට අනුව මෙතෙක් පී. ඩෙනීෂ්වරන්ට අමාත්‍ය ධූරය ලබා නොදීමට එරෙහිව ඔහු විසින් යලි අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
එය අද කැදවූ අවස්ථාවේදීයි විනිසුරු මඩුල්ල මෙම නියෝගය සිදු කරනු ලැබුවේ.