Gossips

සීගිරියේ විරෝධතාවක්, ගලේවෙල අධ්‍යාපන නිලධාරීන් පිරිසක් නිවාස අඩස්සියේ

ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් පිරිසක්, සිය ග්‍රහණයට ගෙන සීගිරිය – කිඹිස්ස කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.
එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා සීගිරියට ප්‍රවිශ්ඨ වන ප්‍රධාන මාර්ගය කිඹිස්ස මංසන්ධියෙන් අවහිර කරමින් ඔවුන් අද (15) උදෑසන විරෝධතාවක් ආරම්භ කළා.
ඒ හේතුවෙන් සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් දැඩි අපහසුතාවට ලක්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
පසුව එම ස්ථානයට ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණි අතර, ඔවුන් සහ විරෝධතාකරුවන් අතර එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
පසුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් සහ විරෝධතාකරුවන් කිඹිස්ස කණිෂ්ඨ විද්‍යාලයට පැමිණියේ සාකච්ඡාවක් සඳහායි.
එම සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙනුයි විරෝධතාවට එක්වූ සිසුන් සහ දෙමාපියන් අදාළ නිලධාරීන් මේ වනවිට සිය ග්‍රහණයට ගෙන ඇත්තේ.
මේ අතර ගම්පහ – කිරිඳිවිට- ගැමුණු කණිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා ගුරුවරයෙකු නොමැති බව පවසමින් එම සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද (15) උදෑසන ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණියා.
එහිදි ඔවුන් කියා සිටියේ කිහිප වරක් බලධාරින් දැනුම්වත් කළද මෙතෙක් ගැටළුවට විසඳුමක් ලැබී නොමැති බවයි.
මේ අතර මහනුවර – තලාතුඔය මාර්ගය, අම්පිටිය මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් අද (15) පෙරවරුවේ ටයර් පුළුස්සමින් විරෝධතාවක නිරතවුණා.
ඒ, වසර 40 ක කාලයක් මුළුල්ලේ එම මාර්ගය ප්‍රතිසංස්කරණය නොමැති බවට චෝදනා කරමින්.
එමෙන්ම කළුතර – පැලවත්ත හරහා නෙළුව මාර්ගය ද අද පෙරවරුවේ 13 කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරතවූයේ එම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින්.
මේ අතර ආගරපතන – පුංචිවත්ත ප්‍රදේශයේදී වතු කම්කරුවන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා.
ඒ ඔවුන්ගේ දෛනික වැටුප් රුපියල් 1000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින්.