Gossips

සීගිරියේ පානීය ජල බෝතල් පාලන මිල මෙන් සිව් ගුණයකට

සීගිරිය නැරඹීමට පැමිණෙන විදේශිකයින්ගෙන් රුපියල් 50 කට මිල කෙරුණු ලීටරයක පානීය ජල බෝතලයක් සඳහා රුපියල් 200 ක මුදලක් අය කෙරෙන බවට හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.
මෙලෙස ඉහළ මිලකට පානීය ජල බෝතල් අලෙවි කරනු ලබන්නේ විදේශිකයන්ට වෙන් කර ඇති රථ වාහන ගාලෙහි පිහිටා ඇති වෙළදසැල්වල බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය සීගිරිය ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්තගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ පානීය ජල බෝතල් මිලට ගැනීමට විදේශිකයින්ට අවශ්‍යතාවයක් නොමැති අතර, විවිධ ස්ථානවල අවශ්‍ය තරම් නොමිලේ ජල පහසුකම් ලබාදී ඇති බවයි.
එමෙන්ම, පෞද්ගලික ව්‍යාපාරිකයින් පවත්වාගෙන යනු ලබන මෙම චෝදනා එල්ල වන වෙළඳසැල්වල ඉහළ මිලකට ජල බෝතල් අලෙවි කිරීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.
පානීය ජල බෝතල් අලෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය වසරේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
ඒ අනුව මිලිලීටර් 350ත්, 499ත් අතර පානීය ජල බෝතලයක් උපරිම සිල්ලර මිල විය යුත්තේ රුපියල් 26ක්.
මිලිලීටර් 500ත්, 749ත් අතර ජල බෝතලයක් රුපියල් 35කටත්, මිලිලීටර් 750ත්, 999ත් අතර පානීය ජල බෝතලයක් රුපියල් 40කටත් අලෙවි කළ යුතුයි.
එමෙන්ම ලීටරයත්, ලීටර් 1යි මිලිලීටර් 499ක පානීය ජල බෝතලයක් අලෙවි කළ යුත්තේ රුපියල් 50කට බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ලීටර් එකයි මිලිලීටර් 500ත්, ලීටර් 4යි මිලිලීටර් 999ත් අතර ජල බෝතලයක් අලෙවි කළ යුත්තේ රුපියල් 70ක උපරිම සිල්ලර මිලකටයි.
එමෙන්ම ලීටර් 5ත්, ලීටර් 6යි මිලිලීටර් 999ක ජල බෝතලයක් රුපියල් 150කටත්, ලීටර් 7ක ජල බෝතලයක් රුපියල් 170කටත් අලෙවි කළ යුතු වනවා.