Gossips

සිසුවියක් අපයෝජනය කළ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අත්අඩංගුවේ

උසස් පෙළ විභාගය අවසන් වී නිවෙසට යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැක පිට යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද අත්අඩංගුවට ගෙන ඇත්තේ පලෙයි ප්‍රදේශයේදීයි.
අදාළ සිසුවිය විභාගයට ගොස් යළිත් නිවසට නොපැමිණි බවට ඇයගේ ඥාතීන් විසින් පුදුකුඩිඉරිප්පු පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුනා.
මුලතිව් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවිය විභාගය අවසන් වී නිවෙසට යමින් සිටියදී 26 හැවිරිදි මෙම සැකකරු වෑන් රථයකින් සහ යතුරුපැදි කිහිපයකින් පිරිසක් සමග පැමිණ සිසුවිය පැහැරගෙන ගොස් තිබුනා.
පසුගිය 19 වනදා පැහැර ගැනීම සිදුව ඇති අතර ඇය පලෙයි ප්‍රදේශයේ කැලෑවක රැයක් පුරා රඳවාගෙන අපයෝජනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
පසුව සැකකරු පෙරේදා (20) පෙරවරුවේ සිසුවිය මුදාහැර ඇති අතර ඇය නිවසට ගොස් ඥාතීන් සමග පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
අනතුරුවයි පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුගෙන් හෙළිකර ගත් තොරතුරු අනුව සිසුවිය පැහැර ගැනීමට පැමිණි සෙසු සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.