Gossips

සිව් දෙනෙකුට මරු කැදවූ දෙහිඅත්තකණ්ඩිය, රිය අනතුර හිතාමතා සිදුකළ බවට චෝදනා

දෙහිඅත්තකණ්ඩිය – උත්තලපුර ප්‍රදේශයේදී එකම පවුලේ 4 දෙනෙකුට මරු කැදවමින් සිදුවූ රිය අනතුර, මුදල් ආරවුලක් මත සිදුකර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
මේ අතර, පොලීසිය සඳහන් කළේ ටිපර් රථය පැදවූ තරුණයා එම අවස්ථාවේදී බීමතින් සිටි බවට කරුණු අනාවරණ වී ඇති බවයි.
උත්තලපුර ප්‍රදේශයේදී ඊයේ සිදුවූ යතුරුපැදි සහ ටිපර් රථ අනතුරෙන් එකම පවුලේ මව, පියා සහ පුතුන් තුන් දෙනා බරපතල තුවාල ලබාරෝහල් ගත කළා.
එහිදී වයස අවුරුදු 37ක් වූ පියා, දස හැවිරිදි සහ 14 හැවිරිදි පුතුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ අතර, 5 හැවිරිදි අනෙක් පුතු ද ජීවිතක්ෂයට පත්වූයේ අද පෙරවරුවේයි.
අනතුරෙන් තුවාල ලැබූ ඔවුන්ගේ 36 හැවිරිදි මව මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදියේ 5 දෙනෙකු ගමන් කර ඇති අතර, කුඩා දරුවන්ට ආරක්ෂිත හිස් වැසුම් නොමැති බවටයි පොලීසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
පොලීසිය සඳහන් කළේ ටිපර් රථය පැදවූ තරුණයාට වලංගු රියදුරු බලපත්‍රයක් ද නොමැති බවයි.
තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ටිපර් රථයෙහි හිමිකරු ද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් අද දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ අදාළ අනතුර මුදල් ආරවුලක් මත ටිපර් රථයෙහි හිමිකරු විසින් සිදුකර ඇති බවටයි.