Gossips

සිය ක්‍රමෝපාය අභිලාශයන් සුරකින්නැයි, ඉන්දියාවෙන් නව රජයට ඉල්ලීමක්

ව්‍යවස්ථා අර්බුදය හමුවේ, ශ්‍රී ලංකාවේ පත්වන නව රජය සිය ක්‍රමෝපාය අභිලාෂයන් ආරක්ෂා කර ගනිමින් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉන්දියාව පවසනවා.
ඉන්දීය රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු උපුටා දක්වමින් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ විශේෂයෙන් කිසිදු චීන හමුදා කඳවුරක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට ඉඩ නොදීම ද එවැනි අපේක්ෂාවක්් බවයි.
එමෙන්ම, ඉන්දියාවේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති නියමිත කාලය තුළ සම්පූර්ණ කිරීම ද ඉන්දියාව බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සුළු ජන කොටසක් වන දෙමළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම පිළිබදව ද තමන් ප්‍රමුඛත්වයක් දක්වා අවධානය යොමු කරන බව ඉන්දීය රජය අවධාරණය කර ඇති බව සඳහන්.
මේ අතර, ශ්‍රී ලංකාවේ නව පෙරළිය හමුවේ විදේශ ආධාර අත්හිටුවා ඇති බවට පළ වන වාර්තා විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම ප්‍රතික්ෂේප කරනවා.
සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් එක් කරමින් ඔහු ප්‍රකාශ කළේ ජපානය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා සිය රටේ අඛණ්ඩ සහය හිමි වන බවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා තමන්ට සහතික වූ බවයි.
එම ව්‍යාපෘති කලින් සැලසුම් කළ පරිදිම සිදුවන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.