Gossips

සියයට 12.5 කින් වැඩිවූ බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි

සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමීම සඳහා අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
ඒ අනුව රුපියල් 10 ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 12 දක්වාත්, රුපියල් 13 ක්ව පැවති ගාස්තුව 15 දක්වාත්, රුපියල් 17 ක්ව පැවති ගාස්තුව රුපියල් 19 දක්වාත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යනු ඇති.
එමෙන්ම රුපියල් 842 ක්ව පැවති සාමාන්‍ය සේවාවේ උපරිම ගාස්තුව රුපියල් 947 ක් දක්වා ඉහළ යනවා.
අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ ගාස්තුද නව සංශෝධන යටතේ ඉහළ යන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.
ඒ අනුව මහරගම සිට මාතර දක්වා අය කෙරෙන බස් ගාස්තුව රුපියල් 500 සිට 560 දක්වා ඉහළ නැංවෙන අතර, මහරගම සිට ගාල්ල දක්වා රුපියල් 410 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 450 ක් වනු ඇති.
කඩවත සිට ගාල්ලට වන නව බස් ගාස්තුව රුපියල් 490 ක් වන අතර, කඩවත සිට මාතරට බස් ගාස්තුව රුපියල් 600 ක්.
ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය විය යුතු බවට බස් සංගම් කළ ඉල්ලීමකට රජය විසින් පසුගිය සතියේ සියයට 6.56 කින් බස් ගාස්තු සංශෝධනය කිරීමට අවසර ලබාදුන්නා.
කෙසේ වෙතත් ඊට විරෝධය පළ කරමින් බස් සංගම් වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කිරීමත් සමඟයි රජය සියයට 12.5 කින් ගාස්තු වැඩි කිරීමට එකඟ වී තිබුණේ.
ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ සංශෝධිත කැබිනට් පත්‍රිකාවට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වසර දෙකක් යනතුරු යළි බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.
කෙසේවෙතත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු කියා සිටියේ වසර 2 කට බල පැවැත්වෙන පරිදි ගාස්තු සංශෝධනය වන්නේ නම් අදාළ කාලය තුළ ඉන්ධන මිල වැඩි නොකළ යුතු බවයි.
බස් ගාස්තු ඉහළ යන ආකාරය මෙතනින්